Tuesday, November 27, 2018

සුන්දර සෙම්බුවත්ත

       දුම්බර කඳුවැටියේ සොඳුරු නවාතැන ‘සෙම්බුවත්ත’
දුම්බර කඳුවැටියෙන් වටවු මාතලේ නගරය ශීත දේශගුණයකට උරුමකම් කියන, සංචාරක
ආකර්ෂණය බහුල වු ප්‍රදේශයකි. සොබා සෞන්දර්යයේ දායාදයක් බදු වූ ‘සෙම්බුවත්ත’ නම් සොදුරු
ඉසව්ව පරිසර අලංකාරය කදිමට පෙන්නුම් කරන ස්ථානයකි. ඇල්කඩුව වතුයායේ සරු තේ යායකට
සහ ෆයිනස් යායකට මැදිව මෙම සෙම්බුවත්ත වැව පිහිටා තිබේ.
        මෙම ස්ථානයේ අතීතය පිරික්සා බැලීමේදී යටත් විජිත සමයේ ඉංග්‍රිසීන් විසින් මෙහි තේ වගා කර
තිබේ. ඔවුන් එම සමයේ දී විනෝද වීම සඳහා වර්තමානයේ වැව තිබෙන භූමිය පෝලෝ
ක්‍රීඩාංගනයක් ලෙස භාවිතා කොට තිබේ. වර්ෂ 1949 දී මෙම ස්ථානයට යාබදව තේ කර්මාන්ත
ශාලාවක් නිර්මාණය කොට ඇතිඅතර, ඒ සඳහා විදුලිය ලබා ගැනීමට පෝලෝ ක්‍රීඩාංගනය තුළ
වැවක් නිර්මාණය කොට තිබේ.
        2005 වර්ෂයේ ඇල්කඩුව වතුයායේ සේවයට පැමිණි රැඞ්ලි දිසානායක නම් වතු අධිකාරිවරයාගේ
සංකල්පයකට අනුව මෙය සංචාරක පුරවරයක් ලෙස නිර්මාණය කර සංචාරකයන් අතර ප්‍රචලිත
කොට තිබේ. පසුව මෙම ස්ථානය නැරඹීමට, විනෝදවීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන්
ලබා ගන්නා ආදායම මෙහි නඩත්තු කටයුතු සඳහා යොදවයි.


        මෙම සංචාරක පුරවරය සෑදීමට ප්‍රථමව එම ස්ථානය පිළිබඳව ගවේෂණයක යෙදුණු විටදී තේ
කම්හල අසල ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වී ඇති අතර එය සිහිවීම පිණිස කෝවිලක් ඉදිකර
ඇති බව එහිදී අනාවරණය වී තිබේ. කාලයාගේ ඇවෑමෙන් සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක්
සීමා වී තිබීම විශේෂත්වයකි.
        2005 වර්ෂය දක්වා ‘හපුවිද ඩිවිෂන්’ ලෙස හැඳින්වු මෙම ප්‍රදේශය ‘සෙම්බුවත්ත’ ලෙස නම් කොට
ස්වභාවික පරිසරය මනාව නඩත්තු කිරීමට වතු අධිකාරිවරයා පියවර ගෙන තිබේ. වර්තමානය වන
විට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිකොට තිබේ. එමෙන්ම, ළමුන් සඳහා
විනෝදවිය හැකි සියලුම පහසුකම් වලින් සපිරි විනෝද උයනක්ද නිර්මාණය කිරීමට පාලන අධිකාරිය
පියවර ගෙන තිබේ. වැවේ ගැඹුර අඩි 35 ක් පමණ වන හෙයින් දිය නෑමට අවස්ථාව සලසා නොමැති
අතර උල්පත් ජලයෙන් යුතු අඞ් 05 ක පමණ නාන තටාකයක් වැව අද්දරින්ම නිර්මාණය කොට තිබේ.
මෙම ස්ථානයේ තිබෙන සුන්දරත්වය නිසාම ටෙලිනාට්‍ය මෙන්ම රූප රචනා සඳහා ද යොදා ගන්නා,
මනරම් දසුන්වලින් පිරි ස්ථානයක් බව නිපදවෙන දෑ තුළින් මනාව ඉස්මතු වේ.


         තවද, බොහෝ විදෙස් ජාතිකයන් මෙම ස්ථානයේ සුන්දරත්වය විදීමට ප්‍රියතාවක් දක්වන අතර දිනෙන්
දින මේ වෙත ඇදී එයි. මේ පුංචි දිවයිනේ මෙවැනි ස්වභාලංකෘත නමුත් එතරම් ප්‍රසිද්ධියක්
නොඋසුලන ස්ථාන කොපමණ නම් තිබේද යන්න ‘සෙම්බුවත්ත’ නම් මෙම සොදුරු ඉසව්ව තරණයේ දී
මනාව පසක් වේ.


2 comments:

අාදර පන්හිද